2 වංශාවලිය 7:11-15

2 වංශාවලිය 7:11-15 SNRV

මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මැදුර ද සාදා නිම කෙළේ ය. උන් වහන්සේගේ මාලිගාවෙහිත්, තමාගේ ම රජ මැදුරෙහිත් කරන්න අදහස් කළ සියල්ල සලමොන් ඉෂ්ට කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි. වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්, මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි. දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ.