1 සාමුවෙල් 24:6-13

1 සාමුවෙල් 24:6-13 SNRV

ඔහු සිය සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධ ව අත් ඔසවා අනතුරක් කිරීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක්වා; මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා ය”යි කීවේ ය. මෙසේ සාවුල්ට අනතුරක් කරන ලෙස දාවිත් තමාගේ සෙනඟට ඉඩ නෑර මේ වචනවලින් ඔවුන් වළක්වා ගත්තේ ය. සාවුල් ගුහාවෙන් පිටත් ව ගියේ ය. ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, “මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ, සාවුල්ට මෙසේ කීවේ ය: “ ‘දාවිත් ඔබට අනතුරු කරන්නට සොයන්නේ ය’යි කියන මිනිසුන්ගේ වචනවලට ඔබ සවන් දෙන්නේ මන් ද? සමිඳාණන් වහන්සේ අද ගුහාවේ දී ඔබ මා අතට පාවා දුන් බව ඔබේ ඇස්වලින් ම මේ දවසේ දී පෙනෙනු ඇත. සමහරු ඔබ මරන්නට කියා මට කී හ. එහෙත්, මම ඔබට කරුණා කෙළෙමි. මන්ද, ‘මාගේ ස්වාමියා සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධ ව මාගේ අත ඔසවන්නේ නැතැ’යි මම කීමි. තවද, මාගේ පියාණෙනි, මේ බලන්න, ඔබේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනව. මා ඔබ නොමරා, ඔබේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක් වත්, අපරාධයක් වත් නැති බව ද, මා ඔබට විරුද්ධ ව පව් නොකළ බව ද දැනගත මැනව. එසේ වුව ද මාගේ ප්‍රාණය නසන්නට ඔබ මා ලුහුබැඳ එන්නෙහි ය. සමිඳාණන් වහන්සේ ඔබ හා මා අතරේ විනිශ්චය කොට, මට විරුද්ධ ව ඔබ ක්‍රියා කර ඇති බැවින්, ඔබට දඬුවම් කරන සේක්වා. මම නම් ඔබට කිසිම අනතුරක් නොකරමි. පැරැණි ආප්තෝපදේශයේ හැටියට දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙයි. එහෙත්, මම ඔබට දුෂ්ටකමක් නොකරන්නෙමි.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 24:6-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය