1 සාමුවෙල් 18:6-16

1 සාමුවෙල් 18:6-16 SNRV

දාවිත් පිලිස්තියයා මරා පෙරළා එන විට, ඉශ්රායෙල්හි සියලු නගරවලින් කාන්තාවෝ නික්ම ගායනා කරමින් ද නටමින් ද රබන් ගසමින් ද ප්‍රීති හඬ නඟමින් ද අත්තාලම් ගසමින් ද සාවුල් රජු හමු වීමට ආහ. කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ. සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය. එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්‍යා සහගත ඇසිණි. පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි. “මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය. සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ වැඩ සිටි නිසාත්, සාවුල්ගෙන් පහ ව වැඩිය නිසාත් සාවුල් දාවිත්ට බිය විය. ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය. දාවිත් ජයගන්න බව සාවුල් දැක වඩ වඩා ඔහුට බිය විය. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනයා ද ජුදා වැසියෝ ද දාවිත් ජයග්‍රාහී මූලිකයෙකු වූ බැවින් ඔහුට ප්‍රේම කළහ.

1 සාමුවෙල් 18:6-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය