1 සාමුවෙල් 14:21-27
1 සාමුවෙල් 14:21-27 SNRV
ඊට පෙර පිලිස්තිවරුන් සමඟ සිටියාවූ ද ඔවුන් සමඟ කඳවුරට ගියාවූ ද හෙබ්‍රෙව්වරු, සාවුල් හා ජොනතන් සමඟ සිටි ඉශ්රායෙල්වරුන් වෙත හැරී ආවෝ ය. එසේ ම එප්‍රායිම් කඳු රටේ සැඟවී සිටි සියලු ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් පලා යන බව අසා, ඔවුන්ට පහර දෙමින් වේගයෙන් ඔවුන් ලුහුබැඳ ගියෝ ය. මෙසේ සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඉශ්රායෙල්වරුන් ගැළෙවු සේක. යුද්ධය ද බෙත්-ආවන් ඉක්මවා පැතුරුණේ ය. ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත. ඔවුන් සියලු දෙනා වනයට පැමිණි විට එහි හැම තැන ම බිම මී පැණි සම්බ විය. මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත. එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය.

