1 සාමුවෙල් 14:1-15

1 සාමුවෙල් 14:1-15 SNRV

එක් දවසක් සාවුල්ගේ පුත් ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට යමු”යි කීවේ ය. ජොනතන් ඒ බව තම පියාට දැන්නුවේ නැත. සාවුල් ගිබියාවට යාබද ව පිහිටි මිග්‍රෝන්හි තිබුණ දෙළුම් ගස යට කඳවුරු බැඳගෙන සිටියේ ය. ඔහු සමඟ හයසියයක් පමණ සෙනඟ සිටියෝ ය. ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ. පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට ජොනතන් යන්නට උත්සාහ කළ කඳුපාරවල් අතරේ, එක පැත්තක ගිරිකුළක් ද අනික් පැත්තේ තවත් ගිරිකුළක් ද විය. එකක නම බෝශෙශ් ය, අනිකේ නම සෙනේ ය. එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිට ද අනික දකුණු දෙසට ශෙබා ඉදිරිපිට ද උස් ව පිහිටියේ ය. ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය. ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය. එවිට ජොනතන් කතා කරමින්, “අපි මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙන්නට සිටිමු. ඔවුන් අප ළඟට එන තෙක් අපට නතර වී සිටින්නට යයි කීවොත්, ඔවුන් අප ළඟට එන තෙක් අපි මේ ස්ථානයෙහි ම නැවතී සිටිමු. ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.” ඔව්හු දෙදෙන ගොස් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පෙනෙන්නට සිටියෝ ය. පිලිස්තිවරු කතා කරමින්, “අන්න, හෙබ්‍රෙව්වරු සැඟවී සිටින ගුහාවලින් පිටතට එමින් සිටිති”යි කීවෝ ය. මුර හමුදාවේ මිනිස්සු ජොනතන්ටත්, ඔහුගේ ආයුධ රැගත් තරුණයාටත් කතා කොට, “අප ළඟට පැමිණෙන්න. ඔබට යම් කාරණයක් කියන්නට අපට ඇතැ”යි කීවෝ ය. එවිට ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “මා පස්සේ එන්න, සමිඳාණන් වහන්සේ ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය. ජොනතන් ද ඔහු පස්සෙන් ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද සතර ගාතයෙන් නැඟී ගියෝ ය. ඔව්හු ජොනතන් ඉදිරියෙහි පැරදී වැටුණෝ ය. ආයුධ රැගත් තරුණයා ද ජොනතන් පස්සේ ගොස් ඔවුන් මරා දැමුවේ ය. ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද මෙසේ ප්‍රථම වරට මැරුවේ, අක්කර භාගයක පමණ බිම් පෙදෙසක සිටි මිනිසුන් විසිදෙනෙකු පමණ ය. කඳවුරේ ද එළිමහනේ ද සිටි සෙනඟ අතරේ මහත් තැතිගැනීමක් ඇති විය. මුර හමුදාවත්, ආක්‍රමණකාරයෝත් වෙවුලුවෝ ය. පොළොව කම්පා විය. මෙසේ ඉතා මහත් සන්ත්‍රාසයක් ඇති විය.