1 රාජාවලිය 20:13-34
1 රාජාවලිය 20:13-34 SNRV
එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය. ආහබ්, “කවරෙකුගේ මාර්ගයෙන් දැ”යි ඇසූ විට, ඔහු උත්තර දෙමින්, “ජනපදවල අධිපතීන්ගේ තරුණ භටයන් ලවා ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි දැන්වී ය. එවිට ආහබ්, “සටන පටන් ගන්නේ කවරෙක් දැ”යි ඇසූ විට ඔහු ද, “ඔබ ය”යි උත්තර දුන්නේ ය. ඉන්පසු ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස් කෙළේ ය. ඔව්හු දෙසියතිස්දෙදෙනෙක් වූ හ. ඔවුන්ට පසු ව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්රායෙල් ජනයා ද රැස් කෙළේ ය. ඔව්හු සත්දහසක් වූ හ. ඉර මුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝ ය. එහෙත්, බෙන්-හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් තිස්දෙනා සමඟ මත් වන තරමට මිදියුස පානය කරමින් කූඩාරම්වල සිටියේ ය. ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝ ය. බෙන්-හදද් සොයා බැලූ විට, “මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ යැ”යි දන්වන ලදී. ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය. මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ ද ඔවුන් අනුව ගිය සේනාව ද නගරයෙන් පිටතට ගොස් එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරූ හ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඉශ්රායෙල්වරු ද ඔවුන් ලුහුබැඳ ගියහ. සිරියාවේ රජ වන බෙන්-හදද් අසෙකු පිට නැඟී සිය අශ්වාරෝහක පිරිසක් සමඟ ගැළවී ගියේ ය. ඉශ්රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ට ද අශ්ව රථවලට ද පහර දී සිරියාවේ වැසියන් හොඳට ම පරාජය කෙළේ ය. දිවැසිවරයා ඉශ්රායෙල් රජු වෙත පැමිණ, “ලබන වසන්ත කාලයේ දී සිරියාවේ රජ ඔබට විරුද්ධ ව එනු ඇත. එබැවින් ඔබ ශක්තිමත් වී කුමක් කළ යුතු ද කියා කල්පනා කර බලන්නැ”යි කී ය. තවද, සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔව්හු අපට වඩා බලවත් වූවෝ ය. එහෙත්, සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධ ව සටන් කරමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු. මෙලෙස කළ යුතු ය. රජවරුන් තම තමන්ගේ ස්ථානවලින් ඉවත් කොට, ඔවුන් වෙනුවට සේනාපතීන් සිටුවා, නැති වූ ඔබේ සේනාව හා සමාන සේනාවක් ද අශ්වයන් හා සමාන අශ්වයන් ද අශ්ව රථ හා සමාන අශ්ව රථ ද ගණන් කරගත මැනව. එවිට අපි සම භූමියෙහි ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු”යි කී හ. ඔහු ද ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී එසේ කෙළේ ය. ඊට පසු පැමිණි වසන්ත කාලයේ දී බෙන්-හදද් සිරියාවේ වැසියන් රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට අපෙක් නම් ස්ථානයට ගියේ ය. ඉශ්රායෙල් ජනයා ද රැස් කරනු ලැබ, සන්නාහ සන්නද්ධ වී ඔවුන්ට විරුද්ධ ව ගියහ. ඉශ්රායෙල් ජනයා කුඩා එළු පට්ටි දෙකකට සමාන ව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියහ. එහෙත්, සිරියාවේ වැසියන්ගෙන් දේශය පිරී තිබිණි. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය. තවද, එක් සෙනඟක් අනික් සෙනඟට ඉදිරියෙන් සත් දවසක් කඳවුරු බැඳ සිටියෝ ය. සත් වන දින යුද්ධය ඇරඹිණි. ඉශ්රායෙල් ජනයා සිරියාවේ වැසියන්ගේ පාබල සේනාවෙන් ලක්ෂයක් එක දවසක දී මැරූ හ. ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහි දී ඉතිරි ව සිටි විසිහත්දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිණි. බෙන්-හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේ ය. එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඉශ්රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප අසා ඇත. ඉතින්, අපේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට යන්නට අපට අවසර දෙනු මැනව, සමහර විට ඔහු ඔබේ ප්‍රාණය ආරක්ෂා කරනු ඇතැ”යි කී හ. එවිට ඔව්හු තමන්ගේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට පැමිණ, “ඔබේ මෙහෙකරු වන බෙන්-හදද්, ‘මාගේ ප්‍රාණය ආරක්ෂා කළ මැනව’යි කියන්නේ ය”යි සැළ කළහ. එවිට ආහබ් කතා කොට, “ඔහු තව ම ජීවත් ව සිටී ද? ඔහු මාගේ සහෝදරයා ය”යි කීවේ ය. ඒ මනුෂ්‍යයො ද රජු කී වචනය හොඳ ලකුණක් කොට සලකා, එය වහා පිළිගෙන, “ඔහු ඔබේ සහෝදරවන බෙන්-හදද් ය”යි කීවෝ ය. ඔහු ද කතා කොට, “ඔබ ගොස් ඔහු කැඳවාගෙන එන්නැ”යි කී ය. එකල බෙන්-හදද් ඔහු වෙත පැමිණියේ ය. රජ ද ඔහු රථයට නංවාගත්තේ ය. බෙන්-හදද් ද කතා කරමින්, “මාගේ පියාණන් විසින් ඔබේ පියාණන්ගෙන් ගන්න ලද නගර ආපසු දෙන්නෙමි. මාගේ පියාණන් සමාරියෙහි වෙළෙඳ පොළවල් සෑදූ ලෙස ඔබට ද දමස්කයෙහි සාදාගන්න පුළුවනැ”යි කීවේ ය. ආහබ් ද කතා කොට, “මම ද මේ ගිවිසුම පිට ඔබ යන්න හරිමි”යි ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්නට හැරියේ ය.

