1 රාජාවලිය 16:21-30

1 රාජාවලිය 16:21-30 SNRV

එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ. එහෙත්, ඔම්රීට එකතු වුණ සෙනඟ ගීනත්ගේ පුත් තිබ්නීට එකතු වූ සෙනඟ පරාජය කළෝ ය. මෙසේ තිබ්නී මළේ ය. ඔම්රී රජ විය. ජුදාහි රජ වූ ආසාගේ තිස්එක් වන අවුරුද්දේ දී ඔම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම් කෙළේ ය. ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය. ඔම්රී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලන්ට ම වඩා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ ය. මන්ද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු මාර්ගවල ද තමාගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල්වරුන්ට කරන්නට සැලැස්සූ ඔහුගේ පාප හැටියට ද පව් කෙළේ ය. ඔම්රී කළ අනික් ක්‍රියා ද ඔහු කළ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? ඔම්රී මරණයට පත් වූ විට සමාරියෙහි භූමිදාන කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහබ් ඔහු වෙනුවට රජ විය. ජුදාහි රජ වූ ආසාගේ තිස්අට වන අවුරුද්දේ දී ඔම්රීගේ පුත් ආහබ් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ විසිදෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. ඔම්රීගේ පුත් ආහබ් ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.