1 කොරින්ති 8

8
දේවතා පිදේනි පිළිබඳ ප්‍රශ්නයක්
1දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ට ම ඥානය ඇති බව අපි දනිමු. ඥානය අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය ශුභසිද්ධිය සලසයි. 2යමෙක් තමා යමක්කමක් දන්නේ යයි සිතයි නම්, දත යුතු අන්දමට ඔහු තව ම දැනගෙන නැත. 3එහෙත් යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරයි නම් දෙවියන් වහන්සේ ඔහු දන්නා සේක.
4දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු. 5සුරලොව හා නරලොව ‘දෙවිවරුන්’ යයි කියන අය ඇතත් මෙවැනි ‘දෙවිවරුන්’ හා ‘ස්වාමිවරුන්’ බොහෝ දෙනෙකු සිටියත්, 6අපට ඇත්තේ එක ම දෙවි වන පියාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේ ය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසා ය. තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එක ම සමිඳාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේත්, අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරණකොටගෙන ය.
7එහෙත් හැම දෙන ම එය නොදනිති. දේවතා පූජාවට පුරුදු වී සිටින සමහරු ඔවුන් වළඳන ආහාර දේවතාවන්ට පිදූ පිදේනි යයි තවමත් සිතති. මෙලෙස ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය කෙලෙසී ඇත. 8ආහාරය නිසා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධයක් ඇති නොවේ. නොකෑමෙන් වන අවැඩක් නැත; කෑමෙන් වන වැඩක් ද නැත.
9ඔබට ඇති මේ නිදහස කිසි ලෙසකින් දුබලයනට බාධාවක් නොවන්නට වග බලාගන්න. 10දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද? 11එසේ නම් ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුන් වහන්සේ මළ නමුත් දුර්වල වූ ඔහු, ඔබගේ දැනගැන්ම නිසා විනාශයට පත් වේ. 12මෙසේ ඔබගේ සහෝදරයන්ට විරුද්ධ ව පව් කොට ඔවුන්ගේ දුර්වල හෘදය සාක්ෂිය තුවාළ කරන කල්හි ඔබ පව් කරන්නේ ක්‍රිස්තුන් වහන්සේට විරුද්ධ ව ය. 13එබැවින් ආහාරය නිසා මාගේ සහෝදරයාට බාධාවක් වේ නම්, මාගේ සහෝදරයාට බාධාවක් නොපැමිණෙන පිණිස මින් මතු කිසි කලෙක මාංස නොවළඳමි.

දැනට තෝරාගෙන ඇත:

1 කොරින්ති 8: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න