1 වංශාවලිය 29:4-13
1 වංශාවලිය 29:4-13 SNRV
එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය. එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය. අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය. සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය. දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා. සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක. වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය. එබැවින් අපේ දෙවියන් වහන්ස, අපි ඔබට ස්තුති කරමින් ඔබේ තේජාන්විත නාමය වර්ණනා කරමු.

