1 වංශාවලිය 29:1-9

1 වංශාවලිය 29:1-9 SNRV

දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය. එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි. තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි. එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය. එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය. අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය. සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය.