රූත් 1:15-22

රූත් 1:15-22 NRSV

එවිට නයෝමි රූත්ට මෙලෙස කීවා ය: “බලන්න, ඔබේ නෑනා තම නෑදෑහිතවතුන් වෙත ද තම කුල දෙවියා වෙත ද ආපසු ගියා ය. ඔබත් ඈ සමඟ යන්න.” එහෙත්, රූත් උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට ඔබ අත්හැර යන්නට වත්, ඔබ සමඟ නොඑන්නට වත් පෙරැත්ත නොකරන්න. ඔබ යන ඕනෑ ම තැනකට මමත් යමි. ඔබ ජීවත් වන ඕනෑ ම තැනක මමත් ජීවත් වෙමි. ඔබේ සෙනඟ මාගේ සෙනඟ ය. ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ය. ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!” තමා සමඟ යෑමට රූත් අධිෂ්ඨාන කරගෙන තිබෙන බව නයෝමිට හැඟුණෙන් ඈ ඒ ගැන තවත් කතා නොකළා ය. බෙත්ලෙහෙමට ම පැමිණෙන තෙක් ඔව්හු දෙදෙනා මෙසේ ගමන් කළහ. ඔවුන් එහි පැමිණි විට මුළු නගරය කලබල විය. එහි ස්ත්‍රීහු, “මේ නයෝමි නොවේ දැ”යි ඇසූ හ. ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්‍රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත. මා මෙයින් පිට වී යන විට සියලු දෙයින් පරිපූර්ණ වී සිටියෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ හිස් අතින් මා ආපසු ගෙනවුත් තිබේ. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සර්ව පරාක්‍රමයාණන් මට පීඩා කර තිබිය දී මට වාසනාවන්තී යැයි කියන්නේ මන් ද?” මෙසේ නයෝමි තම ලේලි වන මෝවබ් ජාතික රූත් සමඟ මෝවබ් දේශයෙන් ආපසු පැමිණියා ය. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ, බාර්ලි අස්වැන්න රැස් කරන්නට පටන්ගත් කාලයේ දී ය.

රූත් 1 කියවන්න

රූත් 1:15-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය