රෝම 13:3-8

රෝම 13:3-8 NRSV

රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නොවෙ‍ති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නොවී ඉන්නට කැමැත්තෙහි ද? එසේ නම්, යහපත කරන්න. එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබෙයි. මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි. එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසා ද ඔහුට කීකරු විය යුතු ය. ඔබ අයබදු ගෙවන්නේත් ඒ නිසා ය. රාජ්‍ය පාලකයෝ සිය යුතුකම් නොපිරි හෙළා ඉටු කරන දෙවියන් වහන්සේගේ සේවකයෝ වෙ‍ති. එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න. එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති.

රෝම 13 කියවන්න