ගීතාවලිය 73:4-15
ගීතාවලිය 73:4-15 NRSV
ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය. එබැවින්, ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන් ද බලහත්කාරය වස්ත්‍රයක් මෙන් ද පැළඳ සිටින්නෝ ය. ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය. ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය. ඔව්හු සුරලොව දෙවිඳුන්ට විරුද්ධ ව නපුර කතා කරන්නෝ ය. ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝ ය. එබැවින්, දේව සෙනඟ පවා ඔවුන් වෙත හැරෙන්නෝ ය. ඔවුන් කියන සෑම දෙයක් ම මහා ආශාවෙන් විශ්වාස කරන්නෝ ය. ඔව්හු කතා කොට, “දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද? මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය. දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය. මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය. දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක; ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක; “මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය. එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි.

