ගීතාවලිය 42:1-8

ගීතාවලිය 42:1-8 NRSV

දෙවියෙනි, මුවා සිසිල් දිය දහරට ලොල් වන සේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත. දෙවිඳුන් කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද? ‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි. බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්, මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි. ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි. මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි. ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි. ඔබේ රළ පතර මා වසාගෙන ඇත. එබැවින් හිමි තුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!

මෙයට අදාළ වීඩියෝ