ගීතාවලිය 119:1-112
ගීතාවලිය 119:1-112 NRSV
නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය. එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය. එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති. අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක. ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා! ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි. ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි. ඔබේ පණත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව. තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි. ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි. ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි. ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි. ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය. ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක. ඔවුන්ගේ නින්දාවත්, අවමානයත් මා කෙරෙන් පහ කළ මැනව. මන්ද, මම ඔබේ ශික්ෂා පද රක්ෂා කෙළෙමි. අධිපතියෝ එක් රැස් ව මට විරුද්ධ ව කුමන්ත්‍රණ කළෝ ය. එහෙත්, ඔබේ මෙහෙකරුවා ඔබේ පණත් භාවනා කරන්නේ ය. ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය. මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව. මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. මහද සොවින් උණු වී යයි. ඔබේ පොරොන්දුව ලෙස මා ශක්තිමත් කළ මැනව. වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව. සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි. අහෝ සමිඳුනි! ඔබේ ශික්ෂා පදවලට ඇලුම් වෙමි. මා ලජ්ජාවට නොපැමිණෙවුව මැනව. ඔබ මාගේ දැනුම පුළුල් කරන විට ඔබේ ශික්ෂා මාර්ගයෙහි යුහු ව ගමන් කරන්නෙමි. සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි. මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි. ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. මන්ද, එය මාගේ ප්‍රීතිය වේ. අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව. නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව. මා තුළ බිය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව. මන්ද, ඔබේ විශ්වාසවන්තකම යහපත් ය. ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව. සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව. එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව. එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය. මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි. සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි. මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි. මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මන්ද, ඔබේ නියෝග අනුව මම ජීවත් වීමි. රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි. මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි. මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පණත් ගැන භාවනා කරන්නෙමි. ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක. ඔබේ පොරොන්දුව මා ප්‍රාණවත් කළ බැවින් මාගේ දුකේ දී එය මාගේ සැනසීම විය. උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි. සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි. ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි. මාගේ මේ ලුහුඬු ජීවිත ගමනේ දී ඔබේ පණත් ගැන ගී ගයමි. සමිඳුනි, රාත්‍රියේ දී ඔබේ නාමය සිහි කරන්නෙමි; ඔබේ ව්‍යවස්ථාව පිළිපදින්නෙමි. මේ ආසිරි මට ලැබුණේ, මා ඔබේ නියෝග රක්ෂා කළ නිසා ය. සමිඳුනි, මාගේ එක ම සම්පත ඔබ ය. ඔබේ නියෝග පවත්වන්නට පොරොන්දු වෙමි. මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව. මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි. මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි. දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි. ඔබේ දැහැමි නියෝග නිසා මැදියම් රැයේ ඔබට ස්තුති කරන්න මම අවදි වන්නෙමි. මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි. සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පණත් මට ඉගැන්වුව මැනව. සමිඳුනි, ඔබේ පොරොන්දුව ප්‍රකාර ඔබේ මෙහෙකරුවාට ඔබ යහපත කළ සේක. මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි. පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි. එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි. ඔබ යහපත් ය; යහපත කරන සේක. ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත. එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි. ඔවුන්ට දැඩි සිතක් ඇත; එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පණත් ඉගෙනගතිමි. ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය. සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි. ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහ කුළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේ වා! මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ. උඩඟු අය අයුතු ලෙස මා හෙළා දැමූ බැවින්, ඔව්හු ලජ්ජාවට පැමිණෙත් වා! එහෙත්, මම ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා! එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය. මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව. මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි. ‘ඔබ කවදා මා සනසන සේක් දැ’යි මම යදින්නෙමි. ඔබේ පොරොන්දු ගැන බලා සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත. ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පණත් අමතක නොකරමි. ඔබේ මෙහෙකරුවා තව කොතෙක් කල් බලා සිටින්න ද? මට පීඩා කරන්නන්ට ඔබ කවදා යුක්තිය ඉටු කරන සේක් ද? ඔබේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන උඩඟු අය මට බොරු වළවල් හෑරුවෝ ය. ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව. ඔවුන් සහමුලින් ම මෙන් මා මිහි පිටින් වනසාදමා ඇත. එහෙත්, මම ඔබේ නියෝග අත් නොහරිමි. ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව. එවිට මම, ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි. සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය; එය තිර ලෙස සගලොව ඇත. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී. ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී. මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපතේ දී මා වැනසෙන්නට ඉඩ තිබුණේ ය. ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි. මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක. මම ඔබේ ය; මා මුදාලුව මැනව. ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි. දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය. එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි. හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත. ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ. ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි. මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය. මා ඔබේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිහිටියන්ට වඩා තේරුම් පැහැදුම් මට ඇත්තේ ය. ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වාගතිමි. ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක. ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය. ඔබේ නියෝග මඟින් මට නැණනුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග මම නුරුස්සන්නෙමි. ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය; මාගේ මාවතට එළියක් ය. ‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි. මම බොහෝ සේ පීඩිත වීමි. සමිඳුනි, ඔබේ පොරොන්දු ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව. සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව. ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය. එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි. දුදනෝ මට මලපතක් තැබුවෝ ය. එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි. ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි. ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි. සදහට ම, මරණය දක්වා ඔබේ පණත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.








