හිතෝපදේශ 31

31
මවගෙන් රජුට ඔවාබස්
1මස්සාහි ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදේශ මේ ය:
2මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න.
3ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න;
ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න.
4ලෙමුවෙල්, මෙය අසන්න:
රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි.
5සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති:
පීඩිතයන්ගේ නඩු අවනඩු කරති.
6මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය;
සුරාව දිය යුත්තේ ජීවිතය තිත්ත වූ අයට ය.
7එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා.
8තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න;
අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න.
9ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න;
අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.
සත්ගුණවත් බිරිඳ
10කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද?
ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.
11සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි.
ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.
12දිවි ඇති තාක් ම ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නී ය.
13ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි.
14ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි.
15ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි;
දාසීන්ට වැඩ නියම කරයි.
16ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි;
ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි.
17ඈ කඩිසර ව වැඩ කරන්නී ය;
වැඩට මුළු හිත යොදන්නී ය;
ඇගේ දෑත සවිමත් කරගනියි.
18සිය වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ඇති බව ඈ දනියි;
රෑ යාමවල ඇගේ පහන නොනිවී දැල්වෙයි.
19ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි.
20ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත;
එය යාචකාදීන් වෙත විදහා ඇත.
21හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත;
පවුලේ හැම අයට ම උණුසුම් වස්ත්‍ර ඇත.
22ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි;
ඇගේ ඇඳුම් සිහින් හණ හා රත්නිල් රෙද්දෙන් මසා ඇත.
23ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි;
නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි.
24ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි;
වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි.
25ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි.
අනාගතය ගැන ඈට බිය සැක නැත.
26ඈ නැණනුවණින් කතා බස් කරයි;
කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.
27ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි;
පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.
28ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති.
ඇගේ සැමියා ද ඇය පසසයි.
29“අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත;
එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි.
30රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි;
එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.
31ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න;
ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 31: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න