හිතෝපදේශ 28:15-28

හිතෝපදේශ 28:15-28 NRSV

දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි, ගොදුරු සොයා යන වලසෙකි. නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි; අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි. මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි; කිසිවෙකු එය නොවළක්වත්වා. අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි. වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය. විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය; ධනය ඉපැයීමට ඉක්මන් වන්නා දඬුවම් ලබනු නියත ය. තරාතිරම් බැලීම හරි නැත; බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති. වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි; කවදා හරි හිඟකමට පැමිණෙන බව ඔහු නොදනියි. කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය. දෙමවුපියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැ යි කියන්නා අන්ත හොරෙකි. තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත. හුදෙක් සිය නුවණෙහි රැඳෙන්නා මෝඩයෙකි; නැණවත් ලෙස හැසිරෙන්නා සුරැකි ව වසන්නෙකි. දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත. නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති; ඔවුන් වැනසෙන විට දැහැමියෝ බලයට පත් වෙති.