හිතෝපදේශ 15:12-24

හිතෝපදේශ 15:12-24 NRSV

උඩඟු මිනිසා අවවාදය නුරුස්සයි; ඔහු පැණවතුන්ගේ අදහස් නොවිමසයි. සතුටු සිත මුහුණ එළිය කරයි; සෝ දුක සිත දෙදරවයි. නැණැතියෝ දැනුම සොයා යති; අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති. පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි; සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි. කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය. වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය. වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි. අලසයාට පාර කටු මාවතකි; අවංක අයට එය රජ මාවතකි. නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි; එහෙත් අනුවණයා මව හෙළා දකියි; අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි; එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි. උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි; බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි. සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි. නැණවතා පාතාලය දෙස පහළට නොව, ජීවනය දෙස ඉහළට ගමන් කරයි.