හිතෝපදේශ 15:12-24

හිතෝපදේශ 15:12-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ගරහන්නා තරවටුව රුස්සන්නේ නැත; ඔහු ප්‍රඥාවතුන් වෙත යන්නේ නැත. ප්‍රීතිමත් හදවත මුහුණ සතුටින් බබළවයි; එහෙත් සිත් සන්තාපය ආත්මය තළා දමයි. නුවණැති හදවත දැනුම සොයයි; එහෙත් අඥානයාගේ මුඛය මෝඩකම වඩවයි. පීඩා විඳින්නන්ට හැමදාමත් දුක්ඛිත ය; එහෙත් සතුටු සිත නිරන්තරයෙන් මංගල සිරි විඳී. කරදර-විපත් සමඟ මහ ධන සම්පත්වලට වඩා ස්වාමින්වහන්සේට භයවීම සමඟ ස්වල්පයක් හොඳ ය. ද්වේෂයෙන් යුතු ව රසමසවුළු බුදිනවාට වඩා ප්‍රේමයෙන් යුතු ව එළවළු ටිකක් හොඳ ය. වහා කිපෙන මිනිසා ආරවුල් අවුස්සයි; එහෙත් ඉවසිලිවන්ත මිනිසා කලහ සන්සිඳුවයි; කම්මැලියාගේ මාර්ගය කටු පඳුරුවලින් අවහිර ය; එහෙත් ඍජු ගති ඇත්තාගේ මාවත රජ මාවතක් ය. ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ; එහෙත් අඥාන මිනිසා ඔහුගේ මව සුළු කොට තකයි. විචාර බුද්ධිය නැති මිනිසාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් අවබෝධය ඇත්තාගේ ගමන් මග සෘජු ය. නිසි උපදෙස් හිඟ වූ කල සැලසුම් සඵල නො වේ; එහෙත් බොහෝ උපදේශකයන් ඇති කල ඒවා සඵල වේ. උචිත පිළිතුරක් දීමෙන් මිනිසකුට ප්‍රීතිය ලැබේ; තැනට ඔබින වචනය කොතරම් අගේ ද! ප්‍රඥාවන්තයාට ජීවිත මාර්ගය ඉහළට දිවේ; ඒ, ෂෙයෝලයෙන් ඔහු ඈත් කෙරෙන පිණිස ය.

හිතෝපදේශ 15:12-24 Sinhala Revised Old Version (SROV)

නින්දාකරන්නා අවවාද ලබන්ට කැමති නැත; ඔහු ප්‍රඥාවන්තයන් ළඟට නොයන්නේය. තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි; එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි. නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම අනුභවකරයි. දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය; එහෙත් සතුටු සිත නිරන්තර මංගල්‍යයක්ය. කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය. වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය. තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි. අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය; එහෙත් අවංක අයගේ මාවත මහ පාරක්ය. ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි; එහෙත් අඥාන මනුෂ්‍යයෙක් තම මවු සුළුකරයි. නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් ඥානවන්තයා සෘජුලෙස හැසිරෙයි. මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය. මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ; කලට සුදුසු වචනය කොපමණ හොඳද! පහළින් තිබෙන ෂෙයෝලෙන් අහක්වෙන පිණිස නුවණින් හැසිරෙන්නා ඉදිරියෙහි ජීවිතයේ මාවත ඉහළට යන්නේය.

හිතෝපදේශ 15:12-24 Sinhala New Revised Version (NRSV)

උඩඟු මිනිසා අවවාදය නුරුස්සයි; ඔහු පැණවතුන්ගේ අදහස් නොවිමසයි. සතුටු සිත මුහුණ එළිය කරයි; සෝ දුක සිත දෙදරවයි. නැණැතියෝ දැනුම සොයා යති; අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති. පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි; සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි. කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය. වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය. වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි. අලසයාට පාර කටු මාවතකි; අවංක අයට එය රජ මාවතකි. නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි; එහෙත් අනුවණයා මව හෙළා දකියි; අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි; එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි. උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි; බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි. සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි. නැණවතා පාතාලය දෙස පහළට නොව, ජීවනය දෙස ඉහළට ගමන් කරයි.

හිතෝපදේශ 15:12-24 Sinhala New Revised Version 2018 (SNRV)