හිතෝපදේශ 1

1
හිතෝපදේශවල අගය
1 # 1 රාජා 4:32 ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය:
2ඒවායින්, ප්‍රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත.
3ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්‍රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත.
4ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත.
5හිතෝපදේශ හා උපහැරණ ද
6බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය;
ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය.
7 # ජෝබ් 28:28; ගීතා 111:10; හිතෝ 9:10 දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි;
අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.
තරුණයන්ට අවවාද
8මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න;
මවගේ උපදෙස් ඉවත නොදමන්න.
9ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.
10මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න:
11“අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු;
සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.
12පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු;
නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත.
13නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු;
කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු.
14එන්න, අපේ කල්ලියට එක් වන්න;
අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.”
15මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න;
ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න.
16ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති;
ලේ වැගිරීමට වේගයෙන් දුවති.
17කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත.
18මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති;
තමන්ගේ ම විනාශයට උපා යොදති.
19අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ.
ඔහුගේ ඉරණම එය වේ.
ප්‍රඥාවගේ ආයාචනය
20 # හිතෝ 8:1-3 ප්‍රඥා තොමෝ වීදිවල හඬනඟයි;
ප්‍රසිද්ධ තැන්වල මොරගසයි.
21දෙනෝදහසක් රැස් වන මංසන්දිවල ඈ හඬනඟයි;
නුවර වාසල් දොරටු ළඟ ඈ මෙසේ නිවේදනයක් කරයි:
22“අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද?
නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද?
අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?
23මාගේ තරවටුව හිතට ගන්න;
එසේ කළොත්, මම මුළු හිතින් ගුරුකම් දෙන්නෙමි.
24මම හඬගැසුවෙමි;
ඔබ සවන් දුන්නේ නැත.
මම ආයාචනා කෙළෙමි;
ඔබ සැලකුවේ නැත.
25ඔබ මාගේ සියලු දැනමුතුකම් ගණනට නොගත්තහු ය;
මාගේ ඔවා බස් නොපිළිගත්තහු ය.
26ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි;
භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි.
27භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.
28එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි;
ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.
29ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය;
දේව ගරුබිය එපා කළහු ය.
30ඔබ කිසිදාක මාගේ දැනමුතුකම් පිළිගත්තේ නැත;
මාගේ ඔවා බස්වලට කන් දුන්නේ නැත.
31කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය;
ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.
32අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති;
අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති.
33එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 1: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න