ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා. ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා.
සහෝදරවරුනි, මට සිදු වූ කාරණා සුබ අස්නේ ම දියුණුවට හැරී තිබෙන බව ඔබට දන්වනු කැමැත්තෙමි. මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත. මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.
සමහරු ඊර්ෂ්‍යාවෙන් හා විරුද්ධ වාදිකමින් ද සමහරු හොඳ සිතින් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති. පසුව කී අය, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද මුලින් කී අය, මා සිරගත ව සිටින විට වඩාත් කරදර ඇති කරවීමේ අදහසින්, අවංක ලෙස නොව, ආත්මාර්ථකාමී චේතනාවෙන් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.
කෙසේ වූවත් කමක් නැත. වංක ලෙස වේ වා, අවංක ලෙස වේ වා, හැම අයුරින් ම ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරනු ලබන බැවින් ඒ ගැන ප්‍රීති වෙමි. මතු ද ප්‍රීති වන්නෙමි. ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි. මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය. මට ජීවත් වීම නම්, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි. එහෙත් මිහි පිට ජීවත්වීමෙන් යම් වැඩදායි සේවයක් කළ හැකි නම්, මේ දෙකින් කුමක් තෝරාගන්නට දැ යි මම නොදනිමි. මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය. එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ. මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි. මෙලෙස, මා ඔබ වෙත නැවත පැමිණීම කරණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වැඩි වන ඔබගේ පාරට්ටුව මට ද භුක්ති විඳීමට හැකි වනු ඇත.
කෙසේ වෙතත්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔබින ලෙස ම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත්, නාවත්, ඔබ ස්ථීර ව, එක්සත් ව සිටින බව ද, ඔබ හැම, එකෙකු මෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බව ද, ඔබේ විරුද්ධවාදීන්ට අභීත ව මූණ පාන බව ද, ඇසීමට මට හැකි වනු ඇත. ඒ අභීතකම ඔවුන්ට විනාශයේ ලකුණක් ද ඔබට විමුක්තියේ ලකුණක් ද ලෙස දෙවියන් වහන්සේගෙන් ම පැමිණෙන්නේ ය. මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය. වරක් මා යෙදී සිටි සටන ඔබ දුටුවහු ය. තවමත් මා ඒ සටනෙහි යෙදෙන බව ඔබ අසා ඇත. ඔබට ඇත්තේත් එම සටන ම ය.