ගණන් කථාව 7:1-29

ගණන් කථාව 7:1-29 NRSV

මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය. එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ සමිඳාණන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම්, මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින් ද, එක එක මූලිකයාට එක ගොනෙකු බැගින් ද අඹරාව ඇති ගැල් රථ හයක් සහ ගොනුන් දොළොස්දෙනෙක් වෙති. ඔව්හු මේවා මණ්ඩපය ඉදිරියට ගෙනාහ. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ගෙන් මේවා භාරගන්න. තවද, ලෙවීවරුන් අතර එක් එක්කෙනාට තමන් කළ යුතු සේවාව අනුව ඔවුන්ට මේවා දිය යුතු ය”යි වදාළ සේක. එවිට මෝසෙස් ගැල් හා ගොනුන් භාරගෙන ලෙවීවරුන්ට ඒවා දුන්නේ ය. ගේර්ෂොන්ගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් දෙකක් සහ ගොනුන් හතරදෙනෙකු ද පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි. එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය. පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “සෑම ප්‍රජා මූලිකයෙකු ම තමාට නියම දවසේ දී තම පඬුරු පූජාසනය මත කැප කිරීම සඳහා ගෙනා යුතු ය”යි වදාළ සේක. පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියන් පස්දෙනෙක් ද වූ හ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුරු මේවා විය. දෙ වන දවසේ දී ශූවර්ගේ පුත් නෙතනේල් වන ඉස්සාකර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශූවර්ගේ පුත් නෙතනේල්ගේ පඬුරු මේවා විය. තුන් වන දවසේ දී හේලෝන්ගේ පුත් එලියාබ් වන සාබුලොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. හේලෝන්ගේ පුත් එලියාබ්ගේ පඬුරු මේවා විය.

ගණන් කථාව 7:1-29 සඳහා වීඩියෝව