ගණන් කථාව 15:22-41

ගණන් කථාව 15:22-41 NRSV

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ මේ සියලු ආඥා යම් කිසි අතපසු වීමකින් නුඹලා කඩ කළොත් එසේ නැත් නම්, උන් වහන්සේ ඒවා අණ කළ දින පටන් ඉදිරියට මතු පරම්පරාවන්, මෝසෙස් මඟින් දුන් ආඥා කඩ කළොත්, එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. මුළු සෙනඟගේ නොදැනුවත්කමින් වූ නිසා මුළු ඉශ්රායෙල් ජනතාවගේ ද, ඔවුන් අතර වසන විදේශිකයන්ගේ ද පව් කමා කරනු ලැබේ. ‘යමෙකු නොදැනුවත්කමින් පව් කළොත්, එවැන්නෙකු පාප පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති එළුදෙනක ගෙනා යුතු ය. මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ. නොදැනුවත්කමින් වන පව් පිළිබඳ ව මවුබිම උපන් ඉශ්රායෙල් ජනයාටත්, ඔවුන් අතර කලකට වසන විදෙශිකයන්ටත් එක ම නීතියක් වලංගු වනු ඇත. ‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ. ඔහු සමිඳාණන් වහන්සේගේ වචනය හෙළා දැක, උන් වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, එවැන්නෙකු සහමුලින් ම නෙරපාදමනු ඇත. ඔහුගේ දුෂ්ටකම ගැන ඔහු ම වගකිව යුතු ය.’ “ ඉශ්රායෙල් ජනයා පාළුකරයේ සිටිය දී, සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්බ විය. එවිට ඔව්හු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝ ය. ඔහුට කුමක් කළ යුතු ද කියා නියම ව නොතිබුණ හෙයින්, ඔව්හු ඔහු සිර අඩස්සි කළහ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඒ මිනිසා මරණයට පත් කළ යුතු ය. මුළු ජනතාව ම ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මැරිය යුතු ය”යි වදාළ සේක. උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි මුළු ජනතාව ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස්, ඔහුට ගල් ගසා, මරාදැමූ හ. සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ අණ කරන්න. ‘ඔවුන්ගේ මතු පරම්පරාවල සැම කෙනෙක් ම තම තමන්ගේ වස්ත්‍රවල වාටියේ දාවලු සෑදිය යුතු ය. තවද, ඒ එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් දැමිය යුතු ය. නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය. නුඹලා මෙය සිහි කොට, මාගේ ආඥා සියල්ල ඉටු කරමින්, නුඹලාගේ දෙවියන් වහන්සේට පමණක් කැප විය යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේ මම ය. නුඹලාගේ දෙවියන් වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.’ “