ගණන් කථාව 10:1-10

ගණන් කථාව 10:1-10 NRSV

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “තැළූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදන්න. මුළු ජනතාව කැඳවීම සඳහාත්, කූඩාරම් ගැලවීම සඳහාත් ඒවා භාවිතා කළ යුතු ය. ඒවා පිඹින කල මුළු ඉශ්රායෙල් ජනතාව ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ නුඹ වෙතට රැස්විය යුතු ය. එහෙත්, එක හොරණෑවක් පමණක් පිඹින කල ඉශ්රායෙල් ගෝත්‍රයන්හි මූලිකයන් වන ප්‍රධානීන් පමණක් ඔබ වෙතට රැස්විය යුතු ය. හොරණෑව රණ හඬ නැඟුව විට පූර්ව දිශාවේ පිහිටි කූඩාරම්වල අය පිටත් විය යුතු ය. හොරණෑව දෙ වන වරටත් රණ හඬ නැඟුව විට දක්ෂිණ දිශාවේ කූඩාරම්වල අය පිටත් විය යුතු ය. මෙලෙස පිටත් වී යාම රණ හඬ අනුව විය යුතු වේ. එහෙත්, මුළු ජනතාව එක්රැස් කිරීමට නම්, රණ හඬ නොනඟා හොරණෑව පිඹිය යුතු ය. හොරණෑ පිඹිය යුත්තෝ ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරු ය. පහත දක්වන මේ නීතිය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු විය යුතු වේ. නුඹලාගේ දේශයෙහි, නුඹලාට පීඩා කරන සතුරාට විරුද්ධ ව නුඹලා සටන් කරන විට රණ හඬ නඟින ලෙස හොරණෑ පිඹිය යුතු වේ. නුඹලාගේ දෙවියන් වන සමිඳාණන් වහන්සේ එවිට නුඹලා සිහිපත් කොට සතුරාගෙන් නුඹලා මුදාගනු ලබන්නහු ය. ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”

මෙයට අදාළ වීඩියෝ