ගණන් කථාව 1:1-33

ගණන් කථාව 1:1-33 NRSV

ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න. එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය. නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්‍රික නායකයෙකු සිටිය යුතු ය. මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය. සිමියොන්ගේ ගෝත්‍රයෙන් ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් ය. ජුදාගේ ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත් නෙතනේල් ය. සාබුලොන්ගේ ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත් එලියාබ් ය. ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය. බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත් අබිදන් ය. දාන්ගේ ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් ය. ආෂෙර්ගේ ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත් පගියෙල් ය. ගාද්ගේ ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත් එලියාසාප් ය. නප්තලීගේ ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත් අහිරා ය.” මෙකී ගෝත්‍රික නායකයන් වන ඉශ්රායෙල් ජනයාගේ ප්‍රධානීහු, ජනතාව අතරෙන් තෝරාගන්නා ලදහ. මෝසෙස් සහ ආරොන්, නම් කරන ලද මේ මිනිසුන් කැඳවා, දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී. මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජාකොබ්ගේ වැඩිමහල් පුත් රූබන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන, ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව රූබන්ගේ ගෝත්‍රයට අයිති අය හතළිස් හයදාස් පන්සියයක් වූ හ. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් නවදාස් තුන්සියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ගාද්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් පන්දාස් හයසිය පණහක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජුදාගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැත්තෑ හාරදාස් හයසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ඉස්සාකර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් හාරදාස් හාරසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සාබුලොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් හත්දාස් හාරසියයක් විය. අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් එප්‍රායිම්ගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී. ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස්දාස් පන්සියයක් විය.

ගණන් කථාව 1:1-33 සඳහා වීඩියෝව