නෙහෙමියා 13:1-9

නෙහෙමියා 13:1-9 NRSV

ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී, අම්මොනි ජාතිකයන් ද මෝවබ් ජාතිකයන් ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමඟට නෑවිත් ඔවුන්ට සාප කරන පිණිස බාලාම් කුලියට ගත් නිසා, අම්මොනි ජාතිකයෙක් වත්, මෝවබ් ජාතිකයෙක් වත්, දෙවියන් වහන්සේගේ සභාවට කිසි කලෙක ඇතුළු නොවන්නේ ය කියා ලියා තිබෙනවා සම්බ විය. ඒ සාපය අපේ දෙවියන් වහන්සේ ආශීර්වාදයකට හැරෙවූ සේක. සෙනඟ මේ නියෝගය ඇසූ විට ඔව්හු මිශ්‍ර විවාහයෙන් පැවත ආ අය ඉශ්රායෙල් සෙනඟගෙන් වෙන් කළහ. මීට පෙර අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා බාර ව සිටි පූජක එලියාෂිබ් ටෝබියාට විවාහයෙන් නෑකමක් ඇති ව සිටියේ ය. ඔහු ටෝබියාට විශාල කාමරයක් සකස් කර දී තිබිණි. කලින් ඒ කාමරයේ ආහාර පූජා ද තුවරලා ද භාණ්ඩ ද ලෙවීවරුන්ගේත්, ගීතිකාකාරයන්ගේත්, දොරටු පාලකයන්ගේත් නියම කොටස වූ ධාන්‍යයෙන් සහ මිදි යුසෙනුත්, තෙලිනුත් දසයෙන් කොටස ද පූජකයන්ට ලැබෙන පිළිගැන්වීමේ පූජා ද තැන්පත් කර තිබිණි. මේ මුළු කාලයේ දී මම ජෙරුසලමෙහි නොසිටියෙමි. කුමක් නිසාද බබිලෝනියේ රජ වූ අර්තක්ෂස්තාගේ තිස් දෙ වන අවුරුද්දේ දී මා රජු වෙත ගිය බැවිනි. ටික කලකට පසු මම රජුගෙන් අවසර ලැබගෙන ජෙරුසලමට පෙරළා පැමිණියෙමි. එවිට, එලියාෂිබ් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මළුවල ටෝබියා උදෙසා කාමරයක් සකස් කර දීමෙන් ඔහු කළ ඒ නපුරු දේ ගැන දැනගතිමි. මම ඊට අතිශයින් කිපී ටෝබියාගේ කාමරයෙහි තිබුණු බඩු භාණ්ඩ සියල්ල පිටතට වීසි කෙළෙමි. ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි.