ශුද්ධවර මතෙව් 3:7-17

ශුද්ධවර මතෙව් 3:7-17 NRSV

එහෙත්, බව්තීස්ම-ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, “පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද? එසේ නම්, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. ‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි. තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක. උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය. එකල ජේසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බව්තීස්ම-ස්නාපනය කරගනු ලබන පිණිස ගලීලයේ සිට ජොර්දානට වැඩම කළ සේක. එහෙත්, ජොහන් උන් වහන්සේ වළක්වමින්, “ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැබිය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු ය”යි වදාළ සේක. එවිට ජොහන් ඊට එකඟ විය. ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක. තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.

ශුද්ධවර මතෙව් 3:7-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය