“ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු”යි කී හ.
එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ. එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, “ක්රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ”යි ඔවුන්ගෙන් විචාළේ ය. ඔව්හු කතා කොට, “ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ;
‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම!
තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය.
මන්ද;
මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ “යි
ඔහුට කී හ.
එකල හෙරොද් ශාස්ත්රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන, “ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න” කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය. රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. තාරකාව දැක ඔව්හු අතිශයින් ප්රීති ප්රමෝද වූ හ. ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.
ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය. ඔහු රාත්රියෙහි නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය. මෙසේ වූයේ,
“මිසරයෙන් මාගේ පුත්රයා කැඳවාගතිමි”යි කියා සමිඳාණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණිස ය.
එකල හෙරොද් තෙමේ ශාස්ත්රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, අතිශයින් උදහස් විය. එවිට ඔහු ශාස්ත්රවන්තයන්ගෙන් විමසා, හරියාකාර දැනගත් කාලය අනුව, දෑවුරුදු වයස් වූ ද, ඊට බාල වූ ද, බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙසෙහි සිටි සියලු පිරිමි දරුවන් මරාදැමීමට අණ කෙළේ ය. එකල දිවැසිවර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටු විය