ශුද්ධවර මතෙව් 12:22-50

ශුද්ධවර මතෙව් 12:22-50 NRSV

එවිට දුෂ්ටාත්මාවේශ වූ, අන්ධ, ගොළු මිනිසෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔහු සුව කළ සේක. ඒ ගොළුවාට කතා ශක්තිය සහ ඇස් පෙනීම ලැබිණි. මුළු ජනකාය විස්මපත් වූ හ. ඔව්හු, “මෙතුමාණන් දාවිත්ගේ පුත්‍රයා විය හැකි දැ”යි ඇසූ හ. එවිට පරිසිවරු ඒ අසා, “මොහු දුෂ්ටාත්මාධිපතියා වන බෙල්සෙබුල්ගේ අනුහසින් මිස වෙන විධියකින් දුෂ්ටාත්මයන් දුරු නොකරති”යි කී හ. උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යය වැනසී යයි; යම් නුවරක් හෝ යම් ගෙදරක් හෝ ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒවා නොපවතියි. සාතන් විසින් ම සාතන් දුරු කරනු ලැබේ නම්, ඔහු ඔහුට ම විරෝධී ව භේද වී සිටියි. එසේ නම්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් නම්, ඔබේ ම අනුගාමිකයන් දුෂ්ටාත්මයන් දුරු කරන්නේ කවරෙකුගේ අනුහසින් ද? මේ අනුව ඔව්හු ම ඔබේ තර්කය බිඳදමති. එහෙත්, මම දෙවියන් වහන්සේගේ ආත්මයාණන් අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කෙරෙම් නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒකාන්තයෙන් ම ඔබ කෙරේ උදා වී තිබේ. “තවද, බලවතෙකු පළමු කොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද, වස්තුව කොල්ලකන්ට කිසිවෙකුට හැකි වේ ද? ඔහු බැඳදැමූ පසු ඔහුගේ ගෙය කොල්ලකන්නේ ය. මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි. එහෙයින් මම ඔබට කියමි, හැම පාපය ම, හැම දේවාපහාසය ම මිනිසුන්ට කමා කරනු ලබන්නේ ය. එහෙත් ආත්මයාණන් වහන්සේට විරුද්ධ ව කරන අපහාසයට කමාවක් නැත. යමෙක් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව වචනයක් කියන්නේ ද, එය ඔහුට කමා කරනු ලබන්නේ ය. එහෙත්, යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ද, එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ දී වත් කමා කරනු නොලබන්නේ ය.” “ගස හොඳ නම්, පල හොඳ ය; ගස නරක නම්, පල නරක ය. ගස හැඳින්වෙන්නේ එහි පලවලිනි. එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ. යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි. තවද, මිනිසුන් දොඩන සියලු ප්‍රලාප ගැන දේව විනිශ්චය දවසේ දී ඔවුන් වගකිවයුතු යයි ඔබට කියමි. ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්‍රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත.” එවිට විනයධරයන් හා පරිසිවරුන්ගෙන් සමහරෙක් කතා කරමින්, “ගුරුදේවයෙනි, ඔබ හාස්කමක් කරනු දකින්න අපි කැමැත්තෙමු”යි කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජෝනා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ. ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත. දේව විනිශ්චය දවසේ දී නිනිවයේ මිනිසුන් මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, ජෝනාගේ දේශනා කිරීමෙන් ඔව්හු පසුතැවී සිත් හරවා ගත් හ. මෙන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. දේව විනිශ්චය දවසේ දී දකුණු දිශාවේ රැජිනිය මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, එතුමිය සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාවේ සිට පැමිණියා ය. මෙන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි ඇත.” “අශුද්ධාත්මයක් මිනිසෙකුගෙන් දුරුව ගිය කල, ඔහු දිය නැති තැන්වල ඇවිද, විවේකයක් සොයා යන්නේ ය. එය නොලදහොත්, ‘මම නික්ම ආ මාගේ ගෙදරට පෙරළා යමි’යි කියයි. ඔහු එහි පැමිණි කල, ඒ ගෙදර හිස්ව, අතුගා, සකස් කොට තිබෙන බව දකියි. එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වෙන ආත්මයන් සත් දෙනෙකු කැඳවාගෙන එන්නේ ය. ඔව්හු, එහි පිවිස එය අරක්ගනිති. මෙසේ ඒ මිනිසාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය. මේ නපුරු පරම්පරාවට ද එසේ ම වනු ඇත.” උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ. එවිට එක් කෙනෙක් උන් වහන්සේට කතා කොට, “බලන්න, ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති”යි කී ය. එහෙත්, උන් වහන්සේ එසේ කී අයට උත්තර දෙමින්, “මාගේ මෑණියෝ කවුරු ද? මාගේ සහෝදරයෝ කවුරු ද?” කියා සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට, “මෙන්න, මාගේ මෑණියෝ සහ සහෝදරයෝ! ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.