ශුද්ධවර මතෙව් 10:16-33

ශුද්ධවර මතෙව් 10:16-33 NRSV

“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත. ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත. එහෙත්, ඔවුන් ඔබ පාවා දෙන කල, ඔබ කතා කළ යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් දැ යි සිතමින් කරදර නොවන්න. මන්ද, ඔබ කිව යුතු දේ නියම වේලාවේ දී ම ඔබට දෙනු ලැබේ. කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය. “තවද, සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙන්නෝ ය. දරුවෝ ද මවුපියන්ට විරුද්ධ ව නැඟී සිට ඔවුන් මරණයට පත් කරවන්නෝ ය. මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය. ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය. “ගෝලයෙක් සිය ගුරුවරයාට වඩා උසස් නොවේ. දාසයෙක් සිය ස්වාමියාට වඩා උසස් නොවේ. ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන් ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන් ද සෑහීමට පත් විය යුතු ය. ඔව්හු ගෘහ මූලිකයාට ‘බෙල්සෙබුල්’ යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත් ද?” “එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද, දැන් සැඟ වී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ. සෑම රහසක් ම ප්‍රකට කරනු ලැබේ. මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න. ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න. ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේ ද? එහෙත්, එයින් එකෙක් වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත් ව බිමට නොවැටෙන්නේ ය. ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න; ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේ ය. යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. එහෙත්, යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේ ද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.”

මෙයට අදාළ වීඩියෝ