ශුද්ධවර මතෙව් 1:20-25

ශුද්ධවර මතෙව් 1:20-25 NRSV

එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්. ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය. මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්: “මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය. එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.