ශුද්ධවර ලූක් 22:40-65
ශුද්ධවර ලූක් 22:40-65 NRSV
උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, “ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක. ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්, “පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය. උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙන් බිම වැටිණි. උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්‍රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක, “ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ මෙවදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය. ජේසුස් වහන්සේ ද “ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක. උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, “ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. එහෙත් ජේසුස් වහන්සේ, “ඔය ඇති, නවතින්න,” කියා ඔහුගේ කන අතගා සුව කළ සේක. ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධ ව ආ නායක පූජකයන්ට ද දේව මාලිගාවේ මුර සෙබළුන්ට ද ප්‍රජා මූලිකයන්ට ද කතා කොට, “ඔබ සොරෙකු හා සටනට මෙන් කඩු මුගුරු රැගෙන ආවාහු ද? දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමඟ සිටිය දී ඔබ මට විරුද්ධ ව අත් එසෙව්වේ නැත. එහෙත් මෙය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය”යි වදාළ සේක. ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය. ඔවුන් මළුව මැද ගිනි මැලයක් ගසා එක් ව හිඳගෙන සිටිය දී, පේදුරු ඔවුන් මැද හිඳගත්තේ ය. එවිට එක් සේවිකාවක් ඔහු ගිනි මැලය ළඟ සිටිනු දැක, ඔහු දෙස හොඳට බලා, “මේ මිනිසාත් ඔහු සමඟ සිටියේ ය”යි කීවා ය. “ස්ත්‍රිය, නැත. මම ඔහු නාඳුනමි”යි පේදුරු කී ය. මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය”යි කී ය. පේදුරු පිළිතුරු දෙමින්, “නැත, නැත, එසේ නොවේ ය”යි කී ය. පැයකට පමණ පසු තවත් කෙනෙක් කතා කොට, “ඇත්තෙන් ම මොහුත් ඔහු සමඟ සිටියේ ය. මන්ද, මොහු ගලීලයෙකැ”යි තරයේ ම කියා සිටියේ ය. පේදුරු ද, “ඔබ කියන දේ මට නොතේරේ” යයි කී ය. එකෙණෙහි ම, ඔහු කතා කරද්දී ම, කුකුළෙක් හැඬලී ය. සමිඳාණන් වහන්සේ හැරී පේදුරු දෙස බැලූ සේක. පේදුරු ද, “අද කුකුළා හඬලන්නට පළමුවෙන් ‘ඔහු නාඳුනමි’යි තුන් වරක් ඔබ මා ගැන කියන්නෙහි ය”යි සමිඳාණන් වහන්සේ ඔහුට පැවසූ කීම සිහි කොට, පිටතට ගොස්, දැඩි දුකින් හැඬී ය. එකල ජේසුස් වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන් වහන්සේට කවට කම් කරමින් පහර දුන්හ. ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, “ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ. ඔව්හු තවත් බොහෝ දේ උන් වහන්සේට විරුද්ධ ව කියමින්, අපහාස කළහ.

