ජෝෂු 4
4
සිහිවටන ගල් දොළොස
1මුළු ඉශ්රායෙල් ජාතිය ජොර්දාන් ගඟින් එතෙර වී නිම වූ කල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, 2“නුඹ එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් සෙනඟ අතරෙන් දොළොස්දෙනෙකු තෝරාගෙන, ඔවුන් අමතා, 3‘ඔබ හැම ජොර්දාන් ගඟේ මැද පූජකවරුන් පා තබා සිටි තැනින් ගල් දොළොසක් රැගෙන, එතෙර ගෙන ගොස්, ඒවා ඔබ හැම අද රෑ නවාතැන් ගන්නා ස්ථානයෙහි තබන්න’ කියා අණ කරන්නැ”යි වදාළ සේක.
4එවිට ජෝෂුවා ඉශ්රායෙල්වරුන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් තෝරාගත් දොළොස්දෙනා කැඳවා, 5ඔවුන් අමතා, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් ඔබ ජොර්දාන් ගඟට ගොස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර අනුව එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ ගෙන යන්න. 6මෙසේ කරන්නේ, ඒවා ඔබ අතරේ සිහිවටනයක් වන පිණිස ය. ‘මේ ගල් තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයේ දී ඔබේ දරුවන් අසන විට, 7ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය.
8ඉශ්රායෙල් ජනතාව ජෝෂුවාගේ අණ පරිදි කළහ. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට වදාළ ලෙස ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල ගණන හැටියට, ජොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් රැගෙන, තමන් සමඟ මෙතෙරට ගෙනැවිත් ඔවුන් නැවතුන ස්ථානයේ තැන්පත් කළහ. 9ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ. 10මෝසෙස් ජෝෂුවාට අණ කළ පරිදි සෙනඟට දැන්වීම සඳහා සමිඳාණන් වහන්සේ ජෝෂුවාට නියම කළ සියලු දේ කියා නිම වන තෙක්, ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද නැවතී සිටියෝ ය. සෙනඟ ඉක්මන් කර එතෙරට ගියෝ ය.
ගිල්ගාලයට පැමිණීම
11මුළු සෙනඟ ඉක්මන් ව එතෙර වී නිම වූ කල, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සහ පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය. 12රූබන්ගේ පෙළපත ද ගාද්ගේ පෙළපත ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද සන්නාහ සන්නද්ධ ව, මෝසෙස් ඔවුන්ට කී ප්‍රකාර, ඉශ්රායෙල්වරුන්ට පෙරටුව එතෙර වූ හ. 13යුද්ධයට සැරසුණු සතළිස්දහසක් පමණ අය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මෙතෙර පිහිටි ජෙරිකෝවේ මිටියාවත්වලට යුද්ධය සඳහා පැමිණියෝ ය. 14ඒ දවසේ දී සකල ඉශ්රායෙල් ජනතාවගේ ඇස් හමුයෙහි සමිඳාණන් වහන්සේ ජෝෂුවා උසස් කළ සේක. ඔව්හු මෝසෙස්ට ගෞරව කළාක් මෙන් ජෝෂුවාට ද ඔහුගේ මුළු ජීවිත කාලයෙහි ගෞරව දැක්වූවෝ ය.
15එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, 16“ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන්ට ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන ලෙස කියන්නැ”යි වදාළ සේක. 17එබැවින් ඔහු පූජකවරුන්ට අණ කරමින්, “ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන්නැ”යි කීවේ ය. 18සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, තමන්ගේ පාද ගොඩබිම තැබූ කෙණෙහි ම ගඟේ දිය ආපසු ගලා ඇවිත් පෙර ලෙස ගං ඉවුරු තළා ගලා ගියේ ය.
19මෙලෙස සෙනඟ පළමු වන මාසයේ දස වන දින ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, ජෙරිකෝවට නැගෙනහිර දිශාවෙහි ගිල්ගාල් නම් ස්ථානයෙහි කඳවුරු බැඳගත්තෝ ය. 20ඔවුන් ජොර්දාන් ගඟින් ගත් ඒ ගල් දොළොස ජෝෂුවා ගිල්ගාල්හි එක උඩ එක තබා 21ඉශ්රායෙල් ජනයා අමතමින්, “ ‘මේ ගල් පිළිවෙළට තබා තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයෙහි දී ඔබේ දරු පරපුර ඔවුන්ගේ පියවරුන්ගෙන් අසන විට 22ඔබ ඔවුන්ට පිළිතුරු දෙමින් මෙසේ කියන්න, ‘ඉශ්රායෙල්වරු වියළි බිම දිගේ මේ ජොර්දාන් ගඟෙන් එතෙර වී ආවෝ ය. 23ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අප රතු මුහුදෙන් එතෙර වන තුරු එහි දිය, අප බලාගෙන සිටිය දී ම, හින්දවා දැමුවාක් මෙන්, උන් වහන්සේ ජොර්දාන් ගඟේ දිය ද අප බලාගෙන සිටිය දී හින්දවා දැමූ සේක. 24උන් වහන්සේ එසේ කෙළේ, මිහි පිට සියල්ලන් සමිඳාණන් වහන්සේගේ හස්තය බලවත් බව දැනගනු පිණිසත්, ඔවුන් දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම ගරුබිය දක්වනු පිණිසත් ය’ කියා දැන්විය යුතු ය”යි කීවේ ය.
දැනට තෝරාගෙන ඇත:
ජෝෂු 4: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society