ජෝබ් 9:4-11
ජෝබ් 9:4-11 NRSV
දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය; සර්ව බලධාරී ය. එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද? එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක; සිය උදහසින් ඒවා පෙරළා දමන සේක; මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක; එහි කණු සොලවන සේක; එතුමාණන් අණ කළහොත්, හිරු උදා නොවන්නේ ය; තරු සඟවා වසා ලීමට එතුමාණන්ට හැකි වන්නේ ය. ඒ උතුමාණෝ පමණක් ම අහස් තලය දිග හරින සේක; මහ සයුර පිට ඇවිදින සේක. මහ වලසා ද මුව සිරස ද හත්දින්න ද දකුණු දිග තාරකා ද මැවූ සේක. මිනිස් මනසින් සොයාගත නොහැකි මහත් දේ ද ගණනාවක් නොමැති අසිරිමත් දේ ද කරන සේක. මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත; මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය

