ශුද්ධවර ජොහන් 15:1-10

ශුද්ධවර ජොහන් 15:1-10 NRSV

“සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය. උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක. මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය. මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය. “මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය. යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය. ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ; මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.