ජෙරමියා 15:1-9

ජෙරමියා 15:1-9 NRSV

එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න. ‘අප කොතැනට යා යුතු දැ’යි නුඹෙන් ඇසූ විට, ඔවුන්ට මා මෙසේ වදාළ බව කියන්න. ‘වසංගතයට නියම වූ අය වසංගතයටත්, කඩුවට නියම වූ අය කඩුවටත්, සාගතයට නියම වූ අය සාගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත් යා යුතු ය.’ ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය. ජුදාහි රජ වූ හෙසකියාගේ පුත් මනස්සේ ජෙරුසලමේ කළ දේ නිසා, ලොවේ සියලු ජාතීන්ගේ පිළිකුලට ඔවුන් භාජන කරන්නෙමි. එම්බා ජෙරුසලම! නුඹට අනුකම්පා කරන්නේ කවරෙක් ද? නුඹ ගැන වැලපෙන්නේ කවරෙක් ද? නුඹේ සුව දුක් අහන්නට නුඹ ළඟට එන්නේ කවරෙක් ද? නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි. මම කුල්ලකින් පොළන්නාක් මෙන් දේශයේ හැම නගරයක දී ඔවුන් පොළාදැමුවෙමි. ඔවුන් කෙරේ වියෝ දුක පැමිණෙව්වෙමි. මාගේ සෙනඟ වන නුඹලා නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී නොපැමිණි බැවින් මම නුඹලා අත්හැර විනාශ කෙළෙමි. මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි. දරුවන් හත්දෙනෙකු වැදූ මව දුර්වල වී ක්ලාන්ත වූවා ය. ඇගේ එළිය දවාලෙහි ම අඳුරට හැරී ඇත. ඈ ලජ්ජාවටත්, නින්දාවටත් පත් වූවා ය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේ දී කඩුවට භාර දෙන්නෙමි. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

මෙයට අදාළ වීඩියෝ