වීරාවලිය 2:1-10

වීරාවලිය 2:1-10 NRSV

සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි. ‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද? එබැවින් මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ සතුරෝ වන්නෝ ය; ඔවුන්ගේ දෙවි දේවතාවෝ නුඹලාට මලපතක් මෙන් වන්නෝ ය.” සමිඳාණන් වහන්සේගේ දූතයා සකල ඉශ්රායෙල් ජනයාට මේ වචන කී විට ඔව්හු ශබ්ද නඟා හැඬුවෝ ය. ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යැයි නම් තබා එහි දී සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කළෝ ය. ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය. ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. සමිඳාණන් වහන්සේගේ සේවක නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.