යෙසායා 55:1-5
යෙසායා 55:1-5 NRSV
“පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න. කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.” “මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි. දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි. නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.”



