යෙසායා 47:1-7

යෙසායා 47:1-7 NRSV

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය. ඇඹරුම් ගල් ගෙන පිටි අඹරන්න. මුහුණු වැස්ම ඉවත දමන්න. උඩ සළුව ගලවාදමා, කකුල් නග්න ව තබාගෙන, ගංගාවලින් එගොඩ වී යන්න. නුඹේ නග්න භාවය පෙනෙන්නේ ය; නුඹේ ලජ්ජාව එළි වන්නේ ය. මම පළිගන්නෙමි. කිසිවෙකුට මා නතර කළ නොහැකි ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ අප නිදහස් කරන සේක. එතුමාණන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. බබිලොන් අඟන නිශ්ශබ්ද ව අන්ධකාරයට ඇතුළු වන්න. තවත් ‘නුඹ ජාතීන්ගේ රැජින ය’යි නොකියනු ලබන්නෙහි ය. මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය. නුඹ සැම කල්හි ම රැජිනක ව සිටිනු ඇතැ යි සිතා, මේ දේවල් සිතට ගත්තේ වත්, ඒවායේ ප්‍රතිඵල සිහි කෙළේ වත් නැත.