යෙසායා 2:1-22

යෙසායා 2:1-22 NRSV

ජුදා සහ ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය: මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය. බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය. මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත. අහෝ! ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු. සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති. ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත. ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති. මේ නිසා සියලුදෙනා නින්දාවටත්, ලජ්ජාවටත් පත් වනු ඇත. සමිඳුනි, ඔවුන්ට කමා නොවුව මැනව. සමිඳුන් උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස ඔව්හු ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක. ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක; ලෙබනොන්හි ඇති උස් කිහිරි ගස් සියල්ල ද විනාශ කරන සේක; බාෂාන්හි ඇති ආලෝන ගස් ද උස් කඳු හෙල් සියල්ල ද උස් කොත් හා සුරැකි පවුරු ද සමතලා කරන සේක; තර්ෂිෂ්හි සියලු නෞකාවලට විරුද්ධ ව සහ සියලු අලංකාර නෞකාවලට විරුද්ධ වන සේක. ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය; අභිමානය සිඳී යන්නේ ය; සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක. සියලු පිළිම සහමුලින් ම පහකරනු ලබන්නේ ය. සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස සෙනඟ ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. ඒ දවස පැමිණි විට, රන් රිදීවලින් සාදාගත් පිළිම ඔව්හු මීයන්ට හා වවුලන්ට අත්හැරදමති. සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද බේරෙන පිණිස සෙනඟ ගල්ගුහා, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය. හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?