හෙබ්‍රෙව් 11:1-16

හෙබ්‍රෙව් 11:1-16 NRSV

ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය යි. අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසැකකම යි. තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන්මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රිය මනාප වූ හ. දෙවියන් වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන් ය. මෙසේ දෘශ්‍යමාන දෙය, අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි. ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි. ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොවිඳ ගෙනයනු ලැබී ය; දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නො වී ය. ඔහුගේ තුරන් වීමට පෙර, ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබී ය. ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත. මන්ද, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය. ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය. ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවීම ලැබූ කල, තමා යන්නේ කොහේ දැ යි නොදැන, තමාට උරුමයක් පිණිස පසු ව ලැබෙන්නට යන ස්ථානයකට පිටත් ව යන ලෙස කීකරු වී, නික්ම ගියේ ය. ඇදහිල්ලෙන්, ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමඟ කූඩාරම්වල වාසය කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේ ම, සිය සැලැස්ම අනුව සාදා නිම කළ අත්තිවාරම් ඇති, නගරය ගැන ඔහු බලා සිටියේ ය. ඇදහිල්ලෙන්, සාරා පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැ යි පිළිගත් නිසා, නිසි වයස ඉක්මවා ගිය ද පිළිසිඳගැනීමේ ශක්තිය ලැබුවා ය. එහෙයින් මළ කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා, ගණනින් අහසේ තරු මෙන් ද, මුහුදු වෙරළේ අසංබ්‍ය වැලි ඇට මෙන් ද වූ විශාල පරපුරක් ඇති විය. ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝ ම මියගිය හ. ඔව්හු පොරොන්දු වූ දේ නොලැබූ නමුත්, ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන, මිහි පිට තමන් ආගන්තුකයන් ද කලක් නේවාසිකයන් ද බව ප්‍රකාශ කළහ. මෙබඳු දේ ප්‍රකාශ කරන අය, තමන්ගේ ම මවුබිමක් සොයන බව මැනවින් පැහැදිලි කරති. ඔව්හු තමන් හැරදමා ආ රට ගැන ම සිත සිතා සිටියහු නම්, පෙරළා එහි යාමට ඔවුන්ට අවස්ථා තිබිණි. එහෙත් ඔව්හු දැන් වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳාණෝ යයි කියනු ලබනවාට උන් වහන්සේ ලජ්ජා නොවන්නේ උන් වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙළ කර තිබෙන නිසා ය.