උත්පත්ති 9:1-13

උත්පත්ති 9:1-13 NRSV

දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න. පොළොවේ සියලු වන සතුන් තුළ ද, අහසේ සියලු පක්ෂීන් තුළ ද, උරගයන් තුළ ද, මුහුදේ සියලු මසුන් තුළ ද නුඹලා කෙරෙහි බිය හා තැතිගැන්ම ඇති වන්නේ ය. මම උන් කෙරෙහි බලය නුඹලාට පවරමි. මා නිල්වන් පැලෑටි නුඹලාට දුන් ලෙස සියලු සතුන් ද, නුඹලාට ආහාර පිණිස දෙමි. එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය. යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි. මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි. “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, ලොව පුරා පැතිර එය යටත් කරගන්න.” දෙවියන් වහන්සේ නෝවාට ද ඔහුගේ පුත්‍රයන්ට ද කතා කොට, “මෙන්න, මම නුඹලා සමඟ ද නුඹලාගේ පෙළපත සමඟ ද නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි. නුඹලා සමඟ පිහිටුවන ලද ගිවිසුම වනාහි මින්පසු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින්පසු කවදා වත් ජලගැල්මකින් මහ පොළොව වනසනු නොලබන බවත් ය”යි වදාළ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි. වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය.

උත්පත්ති 9:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය