උත්පත්ති 6:17-22

උත්පත්ති 6:17-22 NRSV

අහස යට සියලු සත්ත්වයන් වනසාලන පිණිස මම පොළෝ තලය මත ජලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වැනසී යන්නේ ය. එහෙත්, නුඹ සමඟ මම මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ ද නුඹ සමඟ නුඹේ පුතුන් ද නුඹේ භාර්යාව ද නුඹේ පුතුන්ගේ භාර්යාවන් ද නැවට ඇතුළු විය යුතු ය. පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ, සියලු සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය. නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය. කෑම පිණිස විවිධ ආහාර රැස් කරගෙන යන්න; ඒවා නුඹට ද ඔවුන්ට ද ආහාර පිණිස විය යුතු ය.” මෙසේ දෙවියන් වහන්සේ අණ කළ සියල්ල නෝවා නොපිරිහෙළා ඉටු කෙළේ ය.