උත්පත්ති 34:24-31
උත්පත්ති 34:24-31 NRSV
වාසල් දොරටුවෙන් පිට වූ සියල්ලෝ ම හාමොර්ට සහ ඔහු පුත් ෂෙකෙම්ට ඇහුම්කන් දුන්හ. මෙලෙස වාසල් දොරටුවෙන් පිට වූ සියලු ම පිරිමි චර්මඡේදනය කරනු ලැබූ හ. තුන් දිනකට පසු, ඔවුන් තවමත් තුවාළවලින් වේදනා විඳින කල්හි, ජාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන, සිමියොන් සහ ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම කඩු රැගෙන, රහසින් නුවරට වැද, සියලු පිරිමින් මරාදැමූ හ. තවද, ඔව්හු හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් ද කඩු පහරින් මරා, ෂෙකෙම්ගේ ගෙයින් දීනා රැගෙන පිට වී ගියහ. ජාකොබ්ගේ පුත්‍රයෝ ද තුවාළ ලැබූවන් පිටට පැන පහර දී නුවර කොල්ලකෑ හ. මන්ද, ඔහු තම සොහොයුරී දූෂණය කළ හෙයිනි. ඔව්හු ඔවුන්ගේ එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද කොටළුවන් ද නුවර හා පිට්ටනියේ තැබූ දේ ද ඔවුන්ගේ වස්තුව ද ගත්තෝ ය. ඔවුන්ගේ සියලු ම කුඩා දරුවන් ද භාර්යාවන් ද අල්ලාගෙන, ඔවුන්ගේ ගෙවල තිබූ සියල්ල ද කොල්ලකෑ හ. එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය. එවිට ඔව්හු උත්තර දෙමින්, “ඔහු අපේ සහෝදරිය වෙසඟනක ලෙස සැලකීම හරි දැ”යි ඇසූ හ.

