උත්පත්ති 1:8-22

උත්පත්ති 1:8-22 NRSV

‍‍‍‍අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක. එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද, “පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක. දෙවියන් වහන්සේ මේ අලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත්, දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත්, අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත් ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සතර වන දවස ය. ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක.

උත්පත්ති 1:8-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය