ගලාති 4:21-31

ගලාති 4:21-31 NRSV

ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න. ආබ්‍රහම්ට පුත්‍රයන් දෙදෙනෙකු සිටි බව එහි කියා ඇත. එක් දරුවෙක් වහල් ස්ත්‍රියගෙනි. අනික් දරුවා නිවහල් ස්ත්‍රියගෙනි. වහල් ස්ත්‍රියගේ පුතා ස්වාභාවික ලෙස ද, නිවහල් ස්ත්‍රියගේ පුතා දේව පොරොන්දුව අනුව ද උපන්නෝ ය. මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය, සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුම ය. ඒ හාගර් ය. සීනයි කන්ද අරාබියෙහි ඇත. එය දැන් තිබෙන ජෙරුසලමට අදාළ වේ. මන්ද, ඈ තමාගේ දරුවන් සමඟ දාස කමෙහි සිටින්නී ය. එහෙත් නිවහල් ස්ත්‍රිය නම් ස්වර්ගීය ජෙරුසලම යි. ඒ අපගේ මාතාව ය. ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න. මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.” සහෝදරයෙනි, ඔබ ඊසාක් ලෙස පොරොන්දුවේ දරුවෝ ය. එහෙත් ස්වාභාවික ලෙස උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට ඒ කාලයේ දී පීඩා කළ ලෙස, දැනුත් පීඩා කරනු ලැබේ. එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි කුමක් කියා ඇද් ද? “වහල් ස්ත්‍රිය හා ඇගේ දරුවා පන්නාදමන්න; මන්ද, නිවහල් ස්ත්‍රියගේ පුත්‍රයාට, වහල් ස්ත්‍රියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේ ය” යනුයි. එබැවින්, සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව, නිවහල් ස්ත්‍රියකගේ දරුවෝ වෙමු.

ගලාති 4:21-31 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය