එස්රා 4:11-22

එස්රා 4:11-22 NRSV

ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: “ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු: ඔබ කෙරෙන් අප වෙත ආ ජුදෙව්වන් ජෙරුසලමට පැමිණ ඒ කැරලිකාර නපුරු නගරය ගොඩනඟන බව ඔබ තුමාට දැන්විය යුතු ය. පවුරුවල වැඩ නිම කරන්නට ළඟ ය. ඔව්හු අත්තිවාරම අලුත්වැඩියා කරගෙන යති. ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය. ඉතින් අපි ඔබ තුමාට ණයගැති ව සිටිය දී ඔබට අලාභ හානි පැමිණෙනු බලා සිටීම අපට නුසුදුසු බැවින්, ඔබේ පියවරුන්ගේ ලේඛනාගාරයේ වාර්තා පොත විභාග කරන පිණිස ඔබ තුමාට දන්වා එවමු. මෙසේ ඔබ වාර්තා පොතෙහි සොයා බැලුවොත්, මේ නගරය කැරලිකාර, රජුටත් රටවලටත් අලාභ හානි කරන නගරයක් බවත්, පෙර සිට ම එහි ද්‍රෝහිකම්වලට තුඩු දීම් සිදු වූ බවත්, එම කාරණය නිසා ඒ නගරය වනසනු ලැබූ බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත. මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත්, යුප්‍රටීස් ගඟින් මෙගොඩ ඔබට කිසි පෙදෙසක් අයිති නොවන බව අපි ඔබ තුමාට දන්වා සිටිමු.” එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: “රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා! ඔබ අප වෙත එවූ ලිපිය පරිවර්තනය කර මා ඉදිරියෙහි පැහැදිලි ලෙස කියවන ලද්දේ ය. මා අණ දුන් පරිදි විභාගයක් ද කරන ලද්දේ ය. ඒ අනුව, මේ නගරය පුරාණ කාලයේ සිට රජවරුන්ට එදිරිවාදිකම් කර ඇති බවත්, එහි කැරලිගැසීම් ද ද්‍රෝහිකම් ද සිදු වී ඇති බවත් පෙනී ගොස් තිබේ. තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත. එබැවින් මා විසින් නියෝගයක් පමුණුවන තුරු ඒ නගරය ගොඩනොනඟන පිණිස ඒ මිනිසුන්ගේ වැඩ නවත්වන හැටියට නියෝගයක් කරන්න. රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.”