එසකියෙල්ගේ 13:17-23

එසකියෙල්ගේ 13:17-23 NRSV

තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සිය සිතින් දිවැස් වැකි මවා කියන සෙනඟගේ දූවරුන්ට විරුද්ධ ව නුඹේ මුහුණ යොමා, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක: මිනිසුන් තමන් බලයට යටත් කරගැනීම සඳහා අතේ බඳින පිණිස සියලු දෙනාට යන්ත්‍ර මන්ත්‍ර ජප කරන, හිසේ දමාගන්න පිණිස නන්වැදෑරුම් හිස් වැසුම් මිනිසුන්ට සාදා දෙන ස්ත්‍රීන්ට වන විපතක මහත! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්ති කරමින්, නුඹලාගේ ම ප්‍රාණ බේරාගන්නට නුඹලාට පුළුවන් ද? බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය. “ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනිසුන්ගේ ජීවිතයත්, මරණයත් කෙරේ බලය පාන පිණිස නුඹලා භාවිත කරන මන්ත්‍ර නූල්වලට මම ද්වේෂ කරමි. මම ඒවා නුඹලාගේ අත්වලින් උදුරාදමා, නුඹලා දමනය කරගෙන සිටින අය නිදහස් කර හරින්නෙමි. නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. “ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය. නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.”