නික්මයාම 7:14-25

නික්මයාම 7:14-25 NRSV

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝගේ සිත දැඩි වී ඇත. ඔහු සෙනඟට පිට වී යන්න අවසර නොදෙන්නේ ය. උදය කාලයේ පාරාවෝ ගඟට යන විට, නුඹ ද ගං ඉවුරේ ඔහු පැමිණෙන තෙක් බලා සිටින්න. තවද, සර්පයෙකු වූ සැරයටිය අතින් රැගෙන යන්න. නුඹ ඔහුට කතා කොට, හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කීමට ඔබ වෙත මා එවූ සේක. එනම්, ‘මට පාළුකරයෙහි වැඳුම්පිදුම් කරන පිණිස යන්න මාගේ සෙනඟට අවසර දෙන්න. එහෙත් පුදුමයකි, මේ වන තෙක් ඔබ ඊට සවන් නුදුන්නෙහි ය. එබැවින් මෙන්න, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මා සමිඳාණන් වහන්සේ බව ඔබ මේ ලකුණින් දැන ගන්නෙහි ය. එනම්, බලන්න, ගඟේ දියට මා අතේ ඇති සැරයටියෙන් ගසමි. එවිට එහි වතුර ලේ වන්නේ ය. ගඟේ සිටින මසුන් මැරී ගඟෙන් දුගඳ හමනු ඇත. එබැවින් එහි වතුර බීමට මිසර වාසීහු ඉතා අප්‍රිය කරන්නෝ ය’ ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න: ‘මිසරයේ ගංගා, ඇල දොළ, වැව් පොකුණු සියල්ල ම ලේවලට හැරෙන පිණිස ඔබේ සැරයටිය අතට ගෙන ජලය මත එය දිගු කරන්න.’ එවිට, මුළු මිසර දේශය පුරා ඇති ලී බඳුන්වල මෙන් ම ගල් බඳුන්වල ද ලේ ඇති වන්නේ ය”යි වදාළ සේක. මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි. ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය. මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස කළහ. පාරාවෝගේ හිත දැඩි වූයෙන්, සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත. පාරාවෝ ද සිදු වූ දේ ගණනකට නොගත්තෙන්, හැරී ආපසු තම මාලිගාවට ගියේ ය. ගංගාවේ ජලය බීමට ඔවුන්ට නොහැකි වූ නිසා මිසර දේශ වාසීහු සෑම දෙන ම වතුර බීම සඳහා ගඟ අසල වළවල් කැණූ හ. තවද, සමිඳාණන් වහන්සේ මෙලෙස ගඟේ දියට ගැසූ පසු දවස් හතක් ගත විය.

මෙයට අදාළ වීඩියෝ