එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔව්හු මා විශ්වාස නොකොට, මාගේ හඬට සවන් නො දී, සමිඳාණන් වහන්සේ ඔබට දර්ශනය නො වූ සේකැ’යි කීවොත් කුමක් කරන්න දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ අතේ තිබෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ඔහු, “සැරයටියකැ”යි කී ය. උන් වහන්සේ කතා කොට, “එය බිම දමන්නැ”යි වදාළ සේක. ඔහු එය බිම දැමී ය, එය සර්පයෙක් විය. එවිට මෝසෙස් ඌ ඉදිරියෙන් අහකට පැන්නේ ය. සමිඳාණන් වහන්සේ ඔහු අමතමින්, “නුඹේ අත දිගු කොට උගේ වල්ගයෙන් අල්ලාගන්නැ”යි වදාළ සේක. මෝසෙස් ද අත දිගු කොට, ඌ වල්ගයෙන් අල්ලා ගත් විට, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් බවට හැරිණි. උන් වහන්සේ ද, “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
තවදුරටත් උන් වහන්සේ ඔහුට කතා කරමින්, “දැන් නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ සේක. ඔහු තම අත ළයෙහි තැබී ය. ඔහු එය අහකට ගත් විට, පුදුමයකි, ඔහුගේ අත හිම මෙන් සුදු කුෂ්ඨයකින් වැසී තිබිණි. යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි. එවිට උන් වහන්සේ ඔහු අමතමින්, “පළමු වන හාස්කමින් ඔව්හු නුඹ විශ්වාස නොකරත් නම්, නුඹේ හඬට සවන් නොදෙත් නම්, දෙ වන හාස්කමින් ඔවුන් නුඹේ කීම විශ්වාස කරනු ඇත. ඔව්හු මේ හාස්කම් දෙක ම විශ්වාස නොකරත් නම්, නුඹ ගංගාවෙන් වතුර රැගෙන වියළි පොළොවට වත් කරන්න; එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර වියළි පොළොව මත ලේවලට හැරෙන්නේ ය”යි වදාළ සේක.
ඉන්පසු මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “මාගේ ස්වාමීනි, ඔබ වහන්සේ ඔබේ දාසයා හා සමඟ කතා කළ පසු වේ වා, ඊට පෙර වේ වා, මම ව්‍යක්ත කථිකයෙක් නො වීමි. කීමෙහි බිණීමෙහි දුබල ය, දිව ගොතගහන සුලු ය”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද? එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක. එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “අනේ මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබ කැමැති අන් කෙනෙකු යැව්ව මැනවැ”යි කී ය.
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ උදහසින් ඇවිළී, “නුඹේ සහෝදරයා වන ලෙවීයකු වූ ආරොන් ඉන්නවා නොවේ ද? ඔහු කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න, නුඹ හමු වීමට ඔහු එනු ඇත; ඔහු ද නුඹ දකින විට තම හද පත්ලෙන් සතුටු වනු ඇත. නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි. ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය. ඇරත්, නුඹ මේ සැරයටිය අතේ ගෙන ගොස් එයින් හාස්කම් පෑ යුතු ය”යි වදාළ සේක.